January 21, 2025

නීතිවිරෝධී වැලි කැණීම් සම්බන්ධ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බවට වැවිලි හා ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවැසීය.

අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

“හලාවත වැලි සමාගමට අයත් බව වාර්තා වන ප්‍රදේශයේ අවසර ලත් ප්‍රමාණය ඉක්මවා වැලි කැණීම් සිදුකර තිබෙනවා. මෙය දැවැන්ත වංචාවක් බවට වාර්තා වෙනවා. දැනට පරීක්ෂණ සිදුවෙමින් තියෙන්නේ. මූලික සොයාගැනීම්වලින් පෙනීයන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 400 ක වංචනික ගනුදෙනුවක් සිදුවී ඇති බවයි.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වංචාවට වගකිව යුතු අවසාන පාර්ශවය හඳුනා ගැනීම දුෂ්කර බවද අමාත්‍යවරයා පැවැසීය.

“මේ සිද්ධියට ප්‍රසිද්ධ දේශපාලනඥයන් දෙදෙනෙකු සම්බන්ධ බවට වාර්තා ලැබෙනවා. ඊට අමතරව, කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුත් මීට සම්බන්ධ වී ඇති බව වාර්තා වෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.