July 19, 2026

දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමිය තුළදී අද (ජූලි 19) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා කළුබෝවිල (දකුණු කොළඹ) ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින දීර්ඝකාලීන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී F. U. වූට්ලර් මපවසා ඇත්තේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි.