February 23, 2026

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායමට නායකත්වය දීමට වෙනත් විශ්‍රාමික නිලධාරියකු පත්කර ඇතැයි ‘ඉරිදා ලංකාදීපය’ වාර්තා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත් කෙරුණු හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම හේතුවෙන් මෙම නව පත්කිරීම කර ඇත.

මොඩියුල සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

මේ අතර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට ජාතික අධ්‍යාපන ආයතනය පත්කළ කමිටුවේ මූලික වාර්තාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව භාරදීම ප්‍රමාදවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්නගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, ජාතික අධ්‍යාපන ආයතනයෙන් පත්කෙරුණු කමිටුවේ විමර්ශන නොකඩවා ක්‍රියාත්මක වන බවයි.