July 23, 2026

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් දෙපිරිසක් දෙකක් අතර ඇති වූ ගැටුමකදී ප්‍රතිවාදී කල්ලියක සාමාජිකයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ චීන ජාතිකයින් දෙදෙනෙකු මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 34 සහ 38 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේදී ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාර දී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ මුම්බායි හරහා සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිත එයාර් ඉන්දියා AI-2275 දරන ගුවන් යානයට ගොඩවීම සඳහා පස්වරු 4.30 ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත. ඔවුන්ගේ අවසාන ගමනාන්තය සිංගප්පූරුව ලෙස සඳහන් ගුවන් ටිකට්පත් ද ඔවුන් ළඟ තිබී සොයාගෙන තිබේ.

ඔවුන් දිවයිනෙන් පලා යාමට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ගුවන්තොටුපළ CID නිලධාරීන්, පිටත්වීමේ පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ මෙහෙයුමක් දියත් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.