July 28, 2026

2027 වසර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරයකට අදාළව රුපියල් මිලියන 02ක (ලක්ෂ 20ක) අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත පුද්ගලයන් දෙදෙනෙකු ගම්පොළ ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ටෙන්ඩර් කැඳවීමේදී තරඟකාරීත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිය පියා සහ බාප්පාගේ නමින් ටෙන්ඩර් ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් නොකර සිටීමට අල්ලස් කොමිසම වෙත පැමිණිලි කළ පුද්ගලයාගෙන් මොවුන් මුලින්ම රුපියල් මිලියන 03 ක මුදලක් ඉල්ලා ඇත.

අනතුරුව එම මුදල රුපියල් මිලියන 2.5 දක්වා අඩුකර, අවසානයේ රුපියල් මිලියන 02කට එකඟ වී අල්ලස් ලෙස ලබාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අරුණගිරි නාඩර් ලෝගේන්ද්‍රන් නමැති ව්‍යාපාරිකයා සහ ලෝගේන්ද්‍රන් සිවරාජී නැමැත්තියකි.

ඊයේ (27) උදෑසන ගම්පොළ තැපැල් කාර්යාලයේ රථගාල අසලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.