July 7, 2026

අමෙරිකාවේ අලුත උපදින දරුවන්ට කුඩා කල සිටම කොටස් වෙළෙඳපොළ ආයෝජන මඟින් මූල්‍යමය ස්ථාවරත්වයක් සහ ධනය ගොඩනඟා ගැනීමට උපකාරී වන “ට්‍රම්ප් ගිණුම්” (Trump Accounts) වැඩසටහන යටතේ, පළමු දරුවන් 5,00,000කට වැඩි පිරිසකගේ ගිණුම්වල රජය විසින් පළමු ඩොලර් 1,000 බැගින් තැන්පත් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට කොටස් වෙළෙඳපොළ ආරම්භක සීනුව නාද කරමින් ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේය.

මෙම අවස්ථාවට නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ (NYSE) සහ නස්ඩැක් (Nasdaq) ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් ද එක්ව සිටියහ. එහිදී ට්‍රම්ප් අවධාරණය කළේ, මෙලෙස තරඟකාරී කොටස් වෙළෙඳපොළවල් දෙකක් එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවලට පවා මෙතෙක් කර ගැනීමට නොහැකි වූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි .

මෙම සීනුව නාද කිරීමේ නිල අවස්ථාව සඳහා නස්ඩැක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ඇඩීනා ෆ්‍රීඩ්මන්, සභාපති නෙල්සන් ග්‍රිග්ස් මෙන්ම ඉන්ටර්කොන්ටිනෙන්ටල් එක්ස්චේන්ජ් (ICE) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ්රි ස්ප්‍රෙචර් සහ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ (NYSE) සමූහයේ සභාපතිනි ලින් මාටින් ද සහභාගී වූහ.

පමණ ඉක්මවා ඉහළ යන ජීවන වියදම, එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයට මුහුණ දෙන ඡන්දදායකයින්ගේ ප්‍රධානතම ගැටලුවක් වී ඇති පසුබිමක මෙම පියවර ගෙන තිබේ.

මෙම “ට්‍රම්ප් ගිණුම්” ක්‍රමය 2025 සහ 2028 අතර කාලය තුළ උපත ලබන ඇමරිකානු පුරවැසි දරුවන් වෙනුවෙන් සැලසුම් කර ඇත. මෙයින් දිගුකාලීන ආයෝජන සහ මූල්‍ය සාක්ෂරතාවය දිරිමත් වන බව මෙයට පක්ෂපාතී පිරිස් පවසති. කෙසේ වෙතත්, විවේචකයින් පෙන්වා දෙන්නේ සීමිත ආදායම් ලබන පවුල්වලට මෙම ගිණුම් සඳහා අමතර මුදල් තැන්පත් කිරීමට නොහැකි වීම හේතුවෙන්, ඔවුන්ට මෙම වැඩසටහනේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට අපහසු වනු ඇති බවයි.