April 22, 2026

මොණරාගල හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ (HQI) මාරුවීම දේශපාලනික බලපෑමක් හේතුවෙන් සිදුවූ බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රකාශ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

පොලිස් ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා පොලිසිය ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරයි.

‘මොණරාගල හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අදාළ නිලධාරියා ස්ථාන මාරු කිරීම දේශපාලන බලපෑමක් මත සිදු වූවක් බවටත්, එය පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා සිදුවූවක් බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සත්‍ය නොවේ.

මෙම නිලධාරියාට එරෙහිව 2023.06.23 සහ 2024.08.08 යන දිනයන් හිදී විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පූර්වගාමී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිතුමා වෙත වාර්තා කර තිබුණි. එමෙන්ම, මොහු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී නිලධාරියා කෙරෙහි ප්‍රදේශවාසීන්ගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ දැඩි අප්‍රසාදය, අපකීර්තිදායක ලෙස හැසිරීම සහ නීති විරෝධී ලෙස නිධන් වස්තු කැණීමකට සම්බන්ධ වීම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

තවද, මෙම නිලධාරියා මොණරාගල පොලිස් ස්ථානයට අනුයුක්තව හා මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී, විනය කඩ කිරිම් හේතුවෙන් සිදු කරන ලද මුලික විමර්ශනයෙන් පසු අණට අකීකරු වීම හා රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා විසින් 2024.01.31 වන දින හා 2024.03.06 වන දින, වගකීමෙන් යුතුව තම රාජකාරිය නිසිලෙස ඉටු කරන ලෙසට නිලධාරියා වෙත අවවාද පත්‍රිකා නිකුත් කර ඇත.

එසේම, නිලධාරියා මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයේ රාජකාරි කරමින් සිටියදී, විනය කඩ කිරීම් පිළිබඳව සිදුකරන ලද මුලික විමර්ශණ වලින් පසුව, බොරු කීම හෝ ඇත්ත සඟවා කතා කිරීම හා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් 2024.12.20 දින හිටපු පොලිස්පතිවරයා විසින්ද 2025.07.03 වන දින පොලිස්පතිවරයා විසින්ද වගකීමෙන් යුතුව තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලෙසට නිළධාරියා වෙත අවවාද පත්‍රිකා නිකුත් කර ඇත.

විශේෂයෙන්ම අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමටත් පෙර, එනම් 2026.02.13 වන දින මෙම නිලධාරියා ස්ථාන මාරුකිරීම සඳහා පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. අපරාධයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුව 2026.02.24 වන දින බැවින් මෙම ස්ථාන මාරුව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බවට තහවුරු වේ.

ඒ අනුව, පරිපාලන හේතු සහ විනය විරෝධී ක්‍රියා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුකිරීම සිදු කර ඇත. එබැවින් තහවුරු නොකරන ලද සහ සත්‍යයෙන් තොර ඒකපාර්ශවීය තොරතුරු සමාජගත නොකරන ලෙස අවධාරණය කරන අතර මෙම නිලධාරීයාට විරුද්ධව තවදුරටත් මුලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.’