September 20, 2026

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අසල පිහිටි සුප්‍රකට රාවණා ඇල්ල නැරඹීමට සහ එහි ඡායාරූප ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වත්මන් තත්ත්වය හමුවේ දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

සංචාරකයන්ට දියඇල්ල ආසන්නයටම ගොස් එය නැරඹීම සඳහා තනා තිබූ නැරඹුම් මැදිරිය දැනට පවත්නා අබලන් තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති අතර, එම නිසා සංචාරකයන්ට පාර අයිනේ සිට ඡායාරූප ගැනීමට සිදුව තිබේ.

මාර්ගය අයිනේ සිටින සංචාරකයන්ට දියඇල්ලේ සුන්දරත්වය නැරඹීමට සහ ඡායාරූප ගැනීමට පහසු වන පරිදි තිබිය යුතු ඉඩකඩ, පොලිසිය විසින් සවිකර ඇති විශාල ප්‍රචාරක පුවරුවක් නිසා අර්ධ වශයෙන් ආවරණය වී ඇත.

මාංචු දෙකක රූප සටහනක් සහ සිංහලෙන් ‘නීතියට අවනත වෙමු’ යනුවෙන් සටහන් කර ඇති මෙම පුවරුව පසුබිම් කරගනිමින් ඡායාරූප ගන්නා විදේශීය සංචාරකයන් පවසන්නේ, තමන් දියඇල්ලක් අසල නොව බන්ධනාගාර සංකීර්ණයක් අසල සිට ඡායාරූප ගන්නා බවක් හැඟෙන බවයි.

දේශීය ජනතාව සහ රියදුරන් ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කර ඇති මෙවැනි උපදෙස් පුවරුවක්, ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක ඉදිරිපස සවිකිරීම වෙනුවට වෙනත් සුදුසු ස්ථානයක සවිකිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බව සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙති.