June 5, 2026

මව්බිම පුවත්පතේ ජනමාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දුට එම ආයතනයට ඇතුළු වීම වළක්වනු ලැබුවේ ඉහළ කළමනාකාරීත්වයේ වුවමනාවට බව හිටපු ඇමැති ටිරාන් අලස් හිමිකාරිත්වය දරන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ පරිපාලන කළමනාකරු පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.

එහි පරිපාලන කළමනාකරු බව කියන සනත් පින්නදූව නමැත්තා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව කියා ඇත්තේ, රවිශාන් ප්‍රනාන්දු ජනමාධ්‍යවේදියා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අදාළවය.

සිලෝන් නිවුස්පේපර්ස් ඉහළ කළමනාකාරීත්වය තමාට කළ දැනුම්දීම අනුව තමා යටතේ ඇති ආරක්ෂක අංශය මගින් ජනමාධ්‍යවේදියාට මව්බිම ආයතනයට ඇතුළු වීම වැලැක් වූ බව පින්නදූව නමැත්තා පවසා ඇත.

ටිරාන් අලස් හිටපු ඇමැතිවරයාට අයත් මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සේවකයන්ට මාස ගණනක් තිස්සේ වැටුප් ලබාදීම මගහරිමින් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමද පැහැරහැර ඇතිි බවට කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කරනු ලැබුවේ මෙම ජනමාධ්‍යවේදියා විසිනි.

මෙසේ ජනමාධ්‍යවේදියාගේ රාජකාරියට බාධාකිරීම වහා නතර කරන්නැයි බලකරමින් ඉන්පසුව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගියදා කම්කරු කොමසාරිස්වරයාට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් කළේය.