August 22, 2023

ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමඟ යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පුද්ගලයන් සිටී නම් පක්ෂ භේදයකින් තොරව ඔවුන්ට නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් දේශපාලන පක්ෂවලට සහ එහි නියෝජිතයන්ට චෝදනා එල්ල කරන නමුත්, එම චෝදනා කිසිවක් ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

එවැනි තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණේම හිටපු සාමාජිකයෙක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණ පැවැත්විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ වනවිට අදාළ චෝදනාවට ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන ටිරාන් අලස්ගේ නම සඳහන්වීම සම්බන්ධයෙන් විමසූ විට මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, රටේ විදේශ මුදල් සංචිත නීතිවිරෝධී ලෙස වෙනත් රටක ආයෝජනය කර ඇත්නම් එය සෘජුවම රටේ මතු වූ ආර්ථික අර්බුදයට බලපාන බවත්, එම නිසා එවැනි ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරනවාද විපක්ෂය නියෝජනය කරනවාද යන්න ගැටළුවක් නොවන බවත්ය.

ඒ සඳහා ඇමැතිවරයාගේ සම්බන්ධයක් ඇත්නම් ඔහුට එරෙහිවද අදාළ නීති රෙගුලාසි යටතේ පියවර ගත යුතු බව මහලේකම්වරයා පවසයි.

ටිරාන් අලස් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරන අතරවාරයේ පසුගිය කාලය තුළ උද්ඝෝෂණ සියල්ලටම පාහේ ප්‍රහාර එල්ල වූ නමුත්, ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ජන බලවේගය හරහා ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ කතා කිරීමට මැලිකමක් දක්වන බව දුමින්ද නාගමුව පසුගියදා ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

අගෝස්තු 15 වැනිදා ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා නාගමුව කැඳවන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව අගෝස්තු 20 වැනිදා සඳහන් කර තිබේ.