July 28, 2026

රේගු බදු වංචා කරමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත්, ව්‍යාජ ලෙස ලියාපදිංචි කර මහමග ධාවනය කරනු ලබන සුඛෝපභෝගී රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම වාහන වැඩි ප්‍රමාණයක් කොටස් ලෙස මෙරටට ආනයනය කර පසුව එකලස් කර ඇති අතර, ඒ සඳහා රේගුවේ සිටින ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවට සැකකෙරේ.

එමෙන්ම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව පසුගිය රජයන් පැවති සමයන්හිදී මෙම ජාවාරම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හොර පාරෙන් ලියාපදිංචි කරන ලද වාහන රැසක් TID නිලධාරීන් විසින් මේ වන විටත් හඳුනාගෙන ඇති අතර, එම වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙරද මෙලෙස නීති විරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, 2023 වසරේදී පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සිදුකළ වැටලීම්වලදී දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් පරිහරණය කළ මෙවැනි ව්‍යාජ ලියාපදිංචි වාහන 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර, එහිදී අනාවරණය වූ තවත් ව්‍යාජ ලියාපදිංචි වාහන 400ක පමණ ලේඛනයකට අදාළ විමර්ශන එවක සිටි පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරා තිබිණි.