April 14, 2026

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියා පටිපාටිවලට අනුව කටයුතු සිදුකර නොමැති බවත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඔහු වෙනුවෙන් ගොනුකරන ලද පැමිණිල්ලක් මත පදනම් වූ පරීක්ෂණයකින් පසුව මානව හිමිකම් කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම විමර්ශන හැසිරවීමේදී නීතිය අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බව කොමිසම පවසයි.

ජනාධිපති සමාවක් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙණියට චෝදනා එල්ල වී තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, අපක්ෂපාතී පරීක්ෂණයකට ඉඩ සැලසීම සඳහා 2025 ජුනි 9 වැනි දින කැබිනට් මණ්ඩලය ඔහුගේ සේවය අත්හිටුවීමට තීරණය කළේය.

පසුදා ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කරන ලදී.

කෙසේවෙතත්, මානව හිමිකම් කොමිසම මෙම ක්‍රියාවලියේ ගැටළු කිහිපයක් පවතින බව ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගැනීමට පෙර CIDය විසින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති කොමිසම පෙන්වාදෙයි.

එසේම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු අසම්පූර්ණ බවත්, ඒවා නිසි ලෙස පැහැදිලි කර නොමැති බවත් කොමිසම පවසයි.

ඊට අමතරව, තුෂාර උපුල්දෙණියගේ ප්‍රකාශ ප්‍රමාණවත් ලෙස පරීක්ෂා කර නොමැති බවත් කොමිසම පෙන්වාදෙයි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සේවය අත්හිටුවීම නිර්දේශ කිරීමේදී නිවැරදි හා ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද කොමිසම විවේචන ඉදිරිපත් කර ඇත.

මෙම ක්‍රියාවන් නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලින් ආරක්ෂාව සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 13 වගන්ති උල්ලංඝනය කරන බව මානව හිමිකම් කොමිසම තීන්දු කර තිබේ.

CID හි ක්‍රියාමාර්ග විමර්ශනය කර තුෂාර උපුල්දෙණියගේ සේවය අත්හිටුවීම සමාලෝචනය කරන ලෙස බලධාරීන්ට කොමිසම නිර්දේශ කර ඇත.

2026 අප්‍රේල් 30 වැනි දිනට පෙර එම පියවර ගන්නා ලෙස කොමිසම දැනුම්දී තිබේ.