September 8, 2026

ලෝක බළල් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කැලෑ බළල් විශේෂ සහ දිවියන් සංරක්ෂණය කිරීම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් 2026 අගෝස්තු 17 වැනිදා පින්නවල සත්වෝද්‍යානයේදී පවත්වන ලදී.

පින්නවල සත්වෝද්‍යානයේදී අලුතින් උපත ලැබූ කොටි පැටවුන් තිදෙනා ප්‍රථම වතාවට මහජනතාව හමුවට පැමිණීම මෙම උත්සවයේ ප්‍රධාන ආකර්ෂණය විය.

මෙම පැටවුන් තිදෙනා සඳහා නම් යෝජනා කිරීමට දිවයින පුරා මහජනතාවට අවස්ථාව ලබා දී තිබූ අතර, ඒ සඳහා යෝජනා 500කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිණි.

විශේෂ කමිටුවක් මගින් අදාළ පැටවුන් තිදෙනා සඳහා ‘තියෝ’, ‘කයිලෝ’ සහ ‘හීලා’ යන නම් තෝරාගන්නා ලදී.

තේරී පත් වූ ජයග්‍රාහකයන් වන කැළණිය සකුරා වික්‍රමසිංහ, මහනුවර බාතිය රත්නායක සහ ඔරුගොඩවත්ත නුසෙයාර් යන අයට මෙහිදී ත්‍යාග පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ වෙසෙන කුඩා බළල් විශේෂ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිහාල් දයාවංශ විසින් විශේෂ දේශනයක් පවත්වන ලදී.

රඹුක්කන සුජාතා විද්‍යාලයේ සිසුන්, පින්නවල ජාතික පාසලේ වනජීවී ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයන්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් සහ සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය මෙයට එක්ව සිටියහ.