
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය.
එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දණ නමා වැඳ සමාව ගත්තේ විජිත් කේ. මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී පෙත්සම්කරු සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අතර ඇතිවූ සමථයක් අනුවය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම 2017 වසරේ දී ගොනුකර තිබුණේ ගොඩ්වින් පෙරේරා නම් පුරවැසියකු විසිනි.
2017 වසරේදී ගොඩ්වින් පෙරේරා නාරාහේන්පිට ආසිරි රෝහල වෙත යමින් සිටියදී මාර්ගයේ කුණු ඉවත් කරන පුද්ගලයකු අනතුරකට පත්ව සිටි නිසා ඒ ගැන පොලිසියට දැනුම් දී ඔහු රෝහල් ගත කර තිබේ.
පසුව වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ගොඩ්වින් පෙරේරා අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට පොලිස් සිරමැදිරියට දැමූ බව පෙත්සමේ සඳහන්වේ.
නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙසේදැයි ඔහු විමසූ විට ඊට ද පොලිස් නිලධාරීන් අයහපත් ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව ද කියැවේ.
නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබාගැනීමෙන් අගතියට පත්වූ ගොඩ්වින් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබ ඇති අතර නීතිඥ විජිත් සිං ඔහුගේ නීතිඥවරයා විය.
කෙසේවෙතත් වගඋත්තරකරුවන් සමග සමාදානයකට යෑමට පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා එකඟවීම මත අද එම එකඟත්වය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව කැඳවිණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
එසේම වගඋත්තරකාර නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනාගේ නම් අඬගැසු පසු ඔවුන් තිදෙනා ද අධිකණය ඉදිරියේ පෙනීසිටියහ.
පොලිස් නිලධාරීන් තිදෙනා අද අධිකරණයට පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් විශේෂ අවස්ථාවලදී අඳින අංක 01 නිල ඇඳුමින් සැරසී නිල පදක්කම් සහ ආයිත්තම්ද පැළඳ වන අතර වගඋත්තරකරුවන් සමග සමාදානවීමට එකඟදැයි අධිකරණය පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.
ඒ අනුව ඔහු ඊට එකඟත්වය පළකළේය.
වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් සිදු නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට අවවාද කළේය.
රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට නිදහසේ කටයුතු කිරීමට අයිතියක් ඇති බව නොදන්නේදැයි විමසූ විනිසුරුවරයා, ජ්‍යෙෂ්ඨ පුරවැසිකුට සළකන්නේ මෙලෙසදැයි ප්‍රශ්න කළේය.
නඩුව සමවීමට පෙත්සම්කරු එකඟවීම නිසා මෙලෙස නඩුව අවසන් කරන බව කී අධිකරණය, එලෙස නොවිණිනම් පෙත්සම්කරුගේ වයසද සළකා සැළකිවයුතු වන්දියක් ගෙවීමට නිලධාරීන්ට සිදුවීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළේය.
නැවත මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස අධිකරණය පොලිස් නිලධාරීන් තිදෙනාට අවවාද කළේය.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වශයෙන් පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා ඉදිරිපිටට ගොස් දණ නමා වැඳ සමාව ලබාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart