June 6, 2026

ඉතියෝපියාව හරහා කැනඩාව බලා යෑමට මෙරටින් පිටත්ව ගිය යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු, ඉතියෝපියාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තිදෙනා විදේශගත කිරීම සඳහා රහසිගතව කටයුතු කළ ප්‍රධාන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) තැනැත්තන් වෙළඳාම සහ ජාවාරම් විමර්ශන ඒකකය 2 හි නිලධාරීන් විසින් යාපනය, චුන්නාගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි, ප්‍රාණඇපයට ගෙන සිටින පුද්ගලයන් තිදෙනා නිදහස් කිරීම සඳහා එක් අයෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් (සමස්තය ඩොලර් 90,000ක්) ලබාදෙන ලෙස කප්පන්කරුවන් නියෝග කර තිබේ.

අපරාධ කල්ලිය විසින් තමන්ව රඳවා තබාගනිමින් සිදුකරන විවිධ අමානුෂික වධහිංසා පිළිබඳව විස්තර කරමින්, ප්‍රාණඇපකරුවන් බවට පත්ව සිටින ලාංකිකයන් තිදෙනා විසින් මෙරට සිටින තම ඥාතීන් වෙත දුරකථන ඇමතුම් සහ වීඩියෝ පණිවුඩ (Video Messages) එවා ඇත.

එම දර්ශන සහ තොරතුරු ඔස්සේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව CID නිලධාරීන් වහාම විමර්ශන අරඹා මෙම සැකකරු කොටුකර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.