July 7, 2026

ශ්‍රී ලංකාවේ දරුණු වෙමින් පවතින අලි-මිනිස් ගැටුමට දිගුකාලීන විසඳුම් සෙවීම සඳහා රජය විසින් ප්‍රධාන අලි මංකඩවල් තුනක් නිදහස් කර ඇති අතර විශේෂඥ කමිටුවක් ද පිහිටුවා ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ (06) ප්‍රකාශ කළේය.

පරිසර අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රට පුරා වෙසෙන ජනතාවගේ සමාජීය හා ආර්ථික ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරන මෙම අර්බුදය විසඳීම සඳහා රජය ක්ෂණික මෙන්ම දිගුකාලීන පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය.

ඒ අනුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් කොහොලාන්කල, හඳපානගල සහ වැටහිර කන්ද යන අලි මංකඩවල් තුන ගැසට් නිවේදන මඟින් දැනටමත් ප්‍රකාශයට පත් කර විවෘත කර තිබේ.

වන අලින්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ගවල නිදහසේ සැරිසැරීමට ඉඩ සැලසීම සහ මිනිස් වාසස්ථානවලට අලින් කඩාවැදීම වැළැක්වීම මෙහි මූලික අරමුණයි.

මීට අමතරව, විද්‍යාත්මක හා ප්‍රායෝගික විසඳුම් ඇතුළත් සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව මාස තුනක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.