August 20, 2026

වෙනත් ආණ්ඩු කිසිවක් නොකළ ආකාරයට ජාතික ජන බලවේග ආණ්ඩුව මේ කරන්නේ ගල උඩ සටනකි. රූබිකන් නදිය තරණය යන්නත් ඊට ගැලපේ. ඒත් වඩා සමීප මුල් එක ය. ගලෙන් එක් පාර්ශ්වයක් ඇදවැටීමෙන් පමණක් සටන අවසන් වේ. ආණ්ඩුව එතැනට යයි ද දන්නේ නැත.

දේශපාලනඥයන්ට එරෙහි නඩු ආණ්ඩු මාරු වූ විට හැමදාම තිබුණේය. ඒවා තැන්-තැන්වලදී හැලී ගිය අතර, ඇතැම් ඒවා ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවලින් හැලී ගියේය. ඒ නඩු, මේ යන පිළිවෙල ඔවුන්ට අවුලකි.

එපමණක් නොවේ.
මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරි ආධිපත්‍යයන් ද අභියෝගයට ලක් කර ඇත. ගම්පොල ප්‍රාදේශීය ලේකම්වරියගේ සිදුවීම වැනි බරපතළ ගැටලු තැන් තිබෙන බව ද අමතක නොකළ යුතුය. එහෙත් එතැන්ට අත තබා ඇත. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උත්සාහය සම්පූර්ණයෙන් පරාජය වී නැතත්, වෛද්‍ය සාෆි සිද්ධියට අදාළ ව කිසිවක් සිදු වූයේ නැතත්, ඔහු ද සම්බන්ධ වූ බවට සැක එක් අපරාධයක් පිළිබඳව විධිමත් නීතිමය ක්‍රියාවලියක් සිදු වේ.
තවත් දෙපැත්තට උදාහරණ රැසකි.

එහෙත් වැදගත් වන්නේ සටන එක් නිශ්චිත තැනකින් ඇරඹීම ය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු එහි එක් උපරිම ස්ථානයකි. මතක තබාගත යුත්තේ එය කූඨප්‍රාප්තියක් නොවන බවයි.
අධිකරණ ක්ෂේත්‍රයේ ගොඩනැගී තිබූ ආධිපත්‍යයන් රැසක් එමගින් අභියෝගයට ලක් කරයි. එහි සාපේක්ෂ අදහස් තිබිය හැකිය. එහෙත් අලුත් ලෝකය ගොඩනැගීමේ අවංක වුවමනාවක් තිබේ නම්, මේ සියලු ආකාරයේ ආධිපත්‍යයන් කඩා බිඳ දැමිය යුතුය. වැදගත් වන්නේ එහි ඉලක්කයයි.
කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පවසා තිබුණේ මේ සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ආණ්ඩුව ඊට සූදානම් බවයි. (මූලාශ්‍රය : ceylon wire)

එය ආකාර 02කින් අතිශය වැදගත් ‍ය.
එකක් නම්, ඇතැම් අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති වෙනස් කළද, මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ එවැනි වෙනසක් කරන්නට ආණ්ඩුව සූදානම් නැති බව එමගින් පැහැදිලි වීමයි. ගල උඩ සටනකදී මෙය ඉතා වැදගත් ය. අඩිය එහෙට-මෙහෙට ගැනීමෙන් ඇතැම් වැදගත් තීන්දුවලට සිදු වූ කනගාටුදායක දේ පිළිබඳ මෑත කාලීන අත්දැකීම් අප සතු ය.

අනෙක් වැදගත් කරුණ වන්නේ එවැනි තීරණයකට ගියහොත්, ජනතාව සෘජුව මීට මැදිහත් වීමයි. ආධිපත්‍යයන් බිඳදැමීමේ ජනතා අභිලාෂය තවත් වරක් සනාථ කිරීමයි. එසේම එහිදී පක්ෂ-විපක්ෂ (ලාම්පු-කලගෙඩි) දෙපාර්ශ්වයම දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ඇත.

එවැන්නකදී 1982 ජනමත විචාරණය, 1983කළු ජූලිය, ජේ.ආර්.ගේ නීතිඥවරයකු ව සිටි නීතිඥ නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත්කිරීම, ඉන්පසු ඔහු කීර්තිමත් අගවිනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම, ඊට උරණ වීමෙන් සිදු වූ සිදුවීම්, එවකට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මනත්‍රීවරයකු වූ වර්තමානයේත් දේශපාලනයේ සක්‍රීයව සිටින පක්ෂ නායකයකු අග විනිසුරුට එරෙහි ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරමින් පාර්ලිමේන්තුවේ කතා කිරීම (පාර්ශ්ව දෙකකින් මේ බව සනාථ කළද, හැන්සාඩ් අතේ නැති නිසා නම සඳහන් නොකළෙමි.), අගවිනිසුරු සරත් එන්. සිල්වා, මොහාන් පීරිස්, නලින් පෙරේරා උදාහරණය ආදී වශයෙන් එකී-මෙකී බොහෝ දේ සංවාදයට බඳුන් වනු ඇත. විශ්‍රාම ගිය පසු රජයේ පත්වීම් ලද විනිසුරුවරුන් ගැන කතා කිරීමේදී හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය උදාහරණය ද කරළියට එනු ඇත. දේශපාලන සාක්ෂරතාව ගැන සංවාද තිබුණද, මේ තොරතුරු යුගයේදී ඒ සියල්ලෙන් ජනතාවට නිවැරදි තීන්දුවක් ගැනීමට ඉඩ සැලසෙනු ඇත.

එම නිසා මේ ගල උඩ සටන රටට ඉතා වැදගත් ය. එහි ප්‍රතිඵල විසින් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ හෙට දවස ද තීරණය කරනු ඇත.
මේ ගල උඩ සටන අත්‍යවශ්‍ය ය. එය ඉදිරියට යා යුතුය. එවැනි සටන් හුරතල් හැරවුම්වලින් මෙන්ම ඛේදජනක හැරවුම්වලින් හැරවූ උදාහරණත්, ඉන්පසු ගොඩනැගුණු තත්ත්වයනුත් මතක තබාගත යුතුය.

(උපුටාගැනීම – ශාලික විමලසේනගේ ෆේස්බුක් පිටුවෙන්)