August 20, 2026

සිය ගීත නිර්මාණ ඔස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් ලැබූ ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ නන්දා මාලනිය, කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවාය.

ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපය” ඔස්සේ “බුදු සාදු” ගීතය ගයමින් ක්ෂේත්‍රයට පා තැබූ ඇය 1961දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව වෙනුවෙන් නාරද දිසාසේකර සමඟ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියාය.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් විශාරද උපාධිය ලබාගත් ඇය, ‘සත්‍යයේ ගීතය’, ‘පවන’, ‘හේමන්තයේදී’, ‘පෙම්බර ලංකා’ වැනි ප්‍රසාංගික ප්‍රසංග සහ කුඩා දරුවන් උදෙසා “සින්දු හෝඩිය” වැනි අමරණීය නිර්මාණයන් දායාද කළාය.

හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළුව දේශීය හා විදේශීය සම්මාන ගණනාවකින් ඇගේ ගායන කෞශල්‍යය ඇගයීමට ලක්විය.