March 10, 2024

2021 වසරේ දී නිශ්චිත ආහාර ලැයිස්තුවෙන් කිරිපිටි ඉවත් කිරීමත් සමඟ කිරිපිටි මිල සූත්‍රය නවතා දැමීමෙන් පසු එය යළි ක්‍රියාත්මක කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් අනාවරණය කර ඇත.

එම නිලධාරියා පවසා ඇත්තේ, පාරිභෝගික ආරක්ෂණ හිටපු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න විසින් ‘නිශ්චිත භාණ්ඩ’ ලැයිස්තුවෙන් කිරිපිටි ඉවත් කරන තෙක් මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වූ බවයි.

“මෙයින් අදහස් කළේ මිල පිළිබඳ නියාමනය ඉවත් කළ බවයි. සූත්‍රය ක්‍රියාත්මක කළ හැක්කේ මිල නියාමනයක් තිබේ නම් පමණයි. 2021 දී ඇමැතිතුමා මේ බලය අත්හැරියා” යැයි එම නිලධාරියා පවසා ඇත.

“ඒ විදේශ විනිමය අර්බුදය නිසයි. ඒ කාලේ අපිට මිල රෙගුලාසි තිබ්බාම, සමාගම් කිව්වේ රුපියල කඩාවැටීම නිසා ඒ කාලය තුළ මිල සැළකිව යුතු ලෙස ඉහළ ගිය නිසා ආනයනය කරන්න බැහැ කියලා. කිරිපිටි හිඟයක් ද පැවතුණා. ඒ අනුව එම නිෂ්පාදනය නිශ්චිත ආහාර ලැයිස්තුවෙන් ඉවත් කෙරුණා. එම සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොවෙන්නේ ඒ නිසයි” යනුවෙන් ඔහු පැවසීය.

කිරිපිටි මිල සම්බන්ධයෙන් සිකුරාදා (8) පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර ඇත්තේ, මිල සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි යන්නයි.

මෙම සූත්‍රය 2019 වසරේ සිට සමාලෝචනය කර අලුත් කර නොමැති බවත් ඒ නිසා දැනට ක්‍රියාත්මක නොවන බවත් රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් සහ ඒ අතරතුර සම්බන්ධ කරගත් අය පවසා ඇත.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩයේ මිල සැළකිව යුතු ලෙස ඉහළ යෑමට තුඩු දුන් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසුව, බොහෝ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තවදුරටත් සන්නාම පසුපස නොයන බවත් කිරි පරිභෝජනය පහළ ගිය බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මිල සූත්‍රය භාවිත කර තිබුණේ ආනයනික කිරිපිටි සඳහා පමණි.

එම නිලධාරියාට අනුව, සූත්‍රය නැවත හඳුන්වාදීමට මේ මොහොතේ කිසිදු සැලසුමක් නොමැත.

ආචාර්ය හර්ෂ ද සිල්වා රැස්වීමට පැමිණ සිටි නිලධාරීන්ට නියෝග කර තිබුණේ, 2019 වසරේ මිල සූත්‍රය අත්හිටුවීමට හේතු වූ කරුණු පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ හිටපු ‘යහපාලනය’ රජය යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු බෙදාහැරීම් අමාත්‍යංශය විසිනි.(Sunday Morning)