June 5, 2026

විවිධ වෛරස් ප්‍රභේද රැසකින් ආරක්ෂාව සැලසීමට සහ අනාගත වසංගත වළක්වාලීමට සමත් ‘සම්පූර්ණයෙන්ම නවතම’ මාදිලියේ එන්නතක් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිපදවීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ සමත්ව සිටිති.

එන්නතක ප්‍රධාන සංරචකයක් AI තාක්ෂණයෙන් පමණක් සැලසුම් කර මිනිසුන් යොදාගනිමින් පරීක්ෂාවට ලක්කළ පළමු අවස්ථාව මෙය වේ.

කොවිඩ් ඇතුළු සියලුම කොරෝනා වෛරස් ප්‍රභේදවලට සහ සතුන්ගෙන් බෝවිය හැකි වෛරස්වලට එරෙහිව ක්‍රියාත්මක වන පරිදි මෙම එන්නත නිපදවා ඇත.

වෛරස් නිරන්තරයෙන් විකෘති වෙමින් පවතින බැවින් පවතින එන්නත් ඉක්මනින් යල්පැන යයි.

එහෙත් කේම්බ්‍රිජ් පර්යේෂකයන් විසින් හඳුනාගත් වෛරස් ජාන කේත රැසක් AI තාක්ෂණය මඟින් විශ්ලේෂණය කර, ඕනෑම විකෘති වීමකදී වෛරස් පවුලටම එරෙහිව සටන් කළ හැකි ‘සුපිරි ප්‍රතිදේහජනකයක්’ (Super-antigen) නිර්මාණය කර තිබේ.

මේ හරහා අනාගත වසංගත රැල්ලක් පැමිණීමට පෙරම ඊට සූදානම් වීමේ මූලික වෙනසක් සිදුවන බව මහාචාර්ය ජොනතන් හීනි පවසයි.

පුද්ගලයන් 39 දෙනෙකු යොදාගනිමින් මෙහි ආරක්ෂිතභාවය පිළිබඳ මූලික පරීක්ෂණ සාර්ථකව නිම කර ඇති අතර, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මැනීමට තවත් 200 දෙනකු යොදාගනිමින් පරීක්ෂණ පැවැත්වේ.

සත්ව පරීක්ෂණවලදී ද සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති මෙම තාක්ෂණය, වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

කේම්බ්‍රිජ් කණ්ඩායම මේ වන විට සාමාන්‍ය උණ, කුරුලු උණ (H5N1) සහ ඉබෝලා වෛරස් සඳහා ද මෙම ක්‍රමවේදයෙන් වෙන වෙනම එන්නත් නිපදවීමේ මුල් අදියරේ පරීක්ෂණ අරඹා ඇත.