April 30, 2026

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද රාජ්‍ය මුදල් කමිටුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දීම සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මාධ්‍ය වෙත ඊයේ (29) අදහස් දක්වමින් රාජ්‍ය මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා පැවසුවේ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත කමිටු රැස්වීමට සහභාගී වීමට නොහැකි බව සඳහන් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිපියක් ලැබුණු බවයි.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට අදහස් කරන බව භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇති බවත්, ඉන්පසුව විකල්ප දිනයක් ඔහු ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න පවසන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති අතර, රජය මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බැවින් මැයි 5 වැනි දිනෙන් පසු දිනයක් ලබාදෙන පමණක් ඉල්ලා ඇති බවයි.

කමිටුව එකඟ වී නැවත සැලසුම් කරන දිනයක සූරියප්පෙරුම රාජ්‍ය මුදල් කමිටුව හමුවේ පෙනී සිටින බව ඇය තවදුරටත් පැවසුවාය.