June 30, 2026

තායිලන්තයේ සංචාරක පුරවරයක් වන පතායා නගරයෙන් මුළු ලෝකයම කම්පා කරවන අතිශය අමානුෂික පුවතක් වාර්තා වෙනවා. ඒ, 17 හැවිරිදි වියේ පසු වූ ‘තුන්චනොක් දොන්හොම්ලා’ නැමැති සූන්දර තායි තරුණියකගේ නිරුවත් මළසිරුරක් ගමන් මල්ලක බහා දුම්රිය මාර්ගයක් අසල දමාගොස් තිබියදී හමුවීමේ සිදුවීමයි.

මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 46 හැවිරිදි සයිමන් පීටර් කාමන් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු තායිලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සල්ලි ප්‍රශ්නයක් දුරදිග ගිහින්?

තායිලන්ත ජනමාධ්‍ය වාර්තා කරන අන්දමට මේ දෙදෙනා අතර ඇති වූ ආරවුලට හේතුව වී ඇත්තේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. හෝටල් කාමරයේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම තරුණිය ඝාතනයට ලක්ව ඇති බවටයි සැක කෙරෙන්නේ.

CCTV කැමරාවල සියල්ල සටහන් වෙයි

පොලිසිය විසින් සොයාගත් CCTV දර්ශනවලට අනුව, බ්‍රහස්පතින්දා අලුයම 3.30 ට පමණ සයිමන් සහ තුන්චනොක් දෙදෙනා අත් අල්ලාගෙන මහල් නිවාස සංකීර්ණයක ලිෆ්ට් එකක් අසල රැඳී සිටින අයුරු දක්නට ලැබෙනවා.

ඒත් එදිනම රාත්‍රී 9.25 ත් 9.48 ත් අතර කාලයේදී, සයිමන් විසින් බරැති විශාල සුට්කේස් එකක් ඇදගෙන විත් එය යතුරුපැදියක පිටුපස තබා බැඳගෙන යන අයුරුත්, පසුව රාත්‍රී 10.06 වන විට එම සුට්කේස් එක නොමැතිව ඔහු නැවත පැමිණෙන අයුරුත් CCTV කැමරාවල ඉතා පැහැදිලිව සටහන්ව තිබෙනවා.

රටින් පනින්න හදද්දී ගුවන් තොටුපළේදී කොටු කරගනී

තරුණිය අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, වහාම ක්‍රියාත්මක වී සිකුරාදා සවස බැංකොක්හි සුවර්ණභූමි අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී සයිමන්ව අත්අඩංගුවට ගත්තේ ඔහු තායිලන්තයෙන් පළායෑමට උත්සාහ කරමින් සිටියදීයි. ඉන් අනතුරුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි දුම්රිය මාර්ගය අසල තිබී තරුණියගේ නිරුවත් සිරුර අඩංගු සුට්කේස් එක සොයා ගැනීමට හැකිවුණේ.

“ඒවා මකුළුවෝ කාපුවා…” ඇඟේ තිබුණු සීරීම් පාරවල් ගැන සැකකරුවා කියන කතාව

සයිමන්ගේ ගෙළ සහ දෑත්වල තිබූ තුවාල සහ සීරීම් සලකුණු ගැන පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, “ඒවා මකුළුවෝ කාපුවා.. මේ කාමරවලට නිතරම මකුළුවෝ එනවා” යනුවෙනි. ඒත් පොලිසිය සැකකරන්නේ තරුණිය තමන්ව බේරාගැනීමට දැඩි සටනක නිරත වී ඇති බවයි.

“ඒක මගේ පාලනයෙන් බැහැරව සිද්ධ වුණ දෙයක්”

කෙසේවෙතත්, සයිමන් තමන්ට එල්ල වී ඇති මිනීමැරුම් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඔහු පවසන්නේ තමන් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවත්, එහිදී සිදු වූ දෙය තමන්ගේ “පාලනයෙන් බැහැරව” සිදු වූවක් බවත්ය.

ජනමාධ්‍ය ඉදිරියේ වින්දිත තරුණියගේ පවුලේ අයට පණිවිඩයක් දෙමින් ඔහු කියාසිටියේ, **”ඔබේ දියණියට සිදුවූ දේ ගැන මට කණගාටුයි. ඒක මට පාලනය කරන්න බැරි වුණා. මම දන්නවා ඔබ ඉන්නේ ලොකු දුකකින් කියලා. මාත් එහෙමයි. අනෙක් ගැහැණු ළමයින්ටත් කියන්න පරිස්සමෙන් ඉන්න කියලා…” යනුවෙනි.

“අම්මා නැති මගේ කෙල්ල මට හැමදේටම උදව් කළා…” – පියාගේ හදකම්පා කරවන ප්‍රකාශය

මියගිය තුන්චනොක්ගේ පියා වන 46 හැවිරිදි තොංචායි දොන්හොම්ලා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හඬාවැටෙමින් කියාසිටියේ, “මට මේ දුක දරාගන්න බෑ. මගේ දුවට අම්මෙක් හිටියේ නෑ. එයාට මොනවා හරි ඕන වුණාම එයාම තමයි ඒක හොයාගත්තේ. ඒ වගේම එයා හැමවෙලේම මටත් උදව් කළා…” යනුවෙනි.

තායිලන්ත නීතියට අනුව මිනීමැරුම් චෝදනාවට වරදකරු වුවහොත් සයිමන්ට ‘මරණ දණ්ඩනය’ හෝ වසර 15 සිට 20 දක්වා සිරදඬුවමක් නියම වීමට නියමිතයි. මේ වන විට ඔහු පතායා අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.