July 27, 2026

දෙහිවල-ගල්කිස්ස ‘නිසල සෙවණ’ පොදු සුසාන භූමියේ ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා අද (27) තහවුරු කළේය.

පසුගිය ජූලි 19 වැනි දින ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් අදාළ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පළාගොස් තිබිණි.

වෙඩි තැබීමෙන් දෙහිවල ධීවර නිවාස සංකීර්ණයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

ඔහුගේ වම් අතට සහ පපුවට වෙඩි වැදී තිබූ අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, ජූලි 26 වන දින දෙල්කඳ ප්‍රදේශයේදී යතුරුපැදිය පැදවූ 25 හැවිරිදි සැකකරු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 200 ක් ද සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි තැබීම සඳහා සැකකරුවන්ට රුපියල් 200,000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබේ.

කොන්ත්‍රාත් මුදලෙන් කොටසක් ලෙස සැලකෙන රුපියල් 55,000 ක මුදලක් සහ අපරාධය සඳහා භාවිත කළ ජංගම දුරකථන 3 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.