April 22, 2026

NDB බැංකුවේ උද්ගතව ඇති මූල්‍ය අර්බුදයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අකාර්යක්ෂමතාව විශාල ලෙස බලපා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මෙරට බැංකු පද්ධතිය නියාමනයට අවශ්‍ය ක්‍රියාවලිය මහ බැංකුව නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ වන විට ස්වාධීනත්වය උපරිමයෙන් ලබාගෙන ඇති මහබැංකුව, බැංකු නියාමනය සඳහා තමන්ට ඇති නෛතික බලය ක්‍රියාත්මක කරන ආකාරයක් දැකගැනීමට නොලැබෙන බවයි.

2023 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවක් මගින්ද මහා බැංකුවේ සිදුව ඇති දුර්වල තාවය ගැන කරුණු වාර්තා කර ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

” මහ බැංකුවේ තියෙන බෑන්ක් සුපර්විෂන් ඇක්ට් එකේ 80 (2) ආ වගන්තියේ බැංකු සුපර්විෂන් කරන්න බලය ලබා දීලා තියෙනවා. නමුත් මේක හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක ගැටලුවක් තියෙනවා.”

”මේ ගැන ප්‍රශ්න කළාම අපිට උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න යටතේ ඒ ගැන ප්‍රශ්න කරන්න මම කටයුතු කළා.”

”මහ බැංකුව යටතේ තියෙන බෑන්ක් සුපර්විෂන් යුනිට් එක ක්‍රියාත්මක ද කියන එක හරියටම හොයලා බලන්න වෙනවා.” මන්ත්‍රීවරයා පැවසුවේය.