March 10, 2024

තෙල් අපද්‍රව්‍ය බැහැර කරන බව කියන ස්ථාන වැටළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ, බලපත්‍ර රහිත ඉන්ධන නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට ද පියවර ගැනීමට නියමිත බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය පවසා ඇත්තේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අපද්‍රව්‍ය බැහැර කරන ඇතැම් ස්ථාන වටලා සාම්පල ලබාගෙන ඇති බවත් ඒවා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව පමණක් පුළුස්සා දැමිය යුතු අපද්‍රව්‍ය බවත්ය.

“මෙම බලපත්‍ර රහිත මූලාශ්‍රවලින් නීතිවිරෝධී නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට අමාත්‍යංශය පියවර ගන්නවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය මාස කිහිපය තුළ ප්‍රමිතියෙන් බාල ඩීසල් පිළිබඳ ගැටලුවකට සංගමයේ සාමාජිකයන් මුහුණ දුන් බවයි.

ඒ හේතුවෙන් ඩීසල් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ප්‍රමාණය අඩු වූ බව ද ඔහු සඳහන් කර තිබිණි.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රමිතීන් හෝ ආනයන ක්‍රියා පටිපාටිය වෙනස් කර නැහැ. අපගේ නිෂ්පාදනය අනෙකුත් සිල්ලර වෙළෙන්දන් ගෙන්වන නිෂ්පාදනවලට සමානයි. ඔවුන්ගේ නිෂ්පාදන ආනයනය කරන ස්ථානයේදීම අපගේ විද්‍යාගාරයෙන්ද පරීක්‍ෂා කරන බැවින් ඒවායේ ප්‍රමිතීන්ද පවත්වා ගෙන ගොස් ඇති බව අපට විශ්වාසයි,” යනුවෙන් සාලිය වික්‍රමසූරිය පැවසීය.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම අඩු ගුණාත්මක ඉන්ධන තමන් වෙත ළඟා වන බව පාරිභෝගිකයන් නිරීක්ෂණය කර තිබුණේ විශේෂයෙන්ම 2022 වසරේ ඉන්ධන අර්බුදයේදී ඉන්ධනවලට ජලය එක්කර ඇති බවට චෝදනා එල්ල වූ පසුබිමකය.(Sunday Morning)