August 1, 2026

කොළඹ වරායට නාවික සැතපුම් 17ක් පමණ බටහිරින් වූ මුහුදු තීරයේදී වෙළඳ නෞකාවකන් හිස් ප්‍රවාහන කන්ටේනර් 17ක් මුහුදට වැටී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම සිදුවීම උතුරු අක්ෂාංශ 06°54′ සහ නැගෙනහිර දේශාංශ 079°32′ ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇත.

දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පවතින මුහුදු රළ සහ දියවැල් රටාව අනුව මෙම කන්ටේනර් මීගමුව හරහා බේරුවල සහ පුත්තලම අතර වෙරළ තීරය දෙසට පාවී ඒමේ හැකියාවක් පවතින බවයි.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශයේ ධාවනය වන සියලුම බහුදින සහ කුඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.

මෙලෙස මුහුදේ පාවෙන කන්ටේනර් කිසිවක් නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳව වහාම ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි ධීවර වරාය බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.