August 17, 2026

ජාත්‍යනතර මූල්‍ය අරමුදල සමග එක්ව ඔවුන්ගේ වැඩපිළිවෙළක් අනුව ගමන් කළ ද කටයුතු කළ යුතු වන්නේ රටට ගැලපෙන අයුරින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ දේපළ බද්ද සම්බන්ධයෙන් වුව ද කටයුතු කළ යුතු වන්නේ රට සහ ජනතාව පිළිබඳ සිතා බැලීමෙන් බවයි.

රටක් වශයෙන් වර්තමානයේදී ජනතාවගෙන් අයකරන බදු ප්‍රමාණය ඉත ඉහළ බව පෙන්වා දුන් රවී කරුණානායක මන්ත්‍රීවරයා එහි ප්‍රතිපලයක් ලෙස නීත්‍යානුකූල නොවන තත්වයක් දක්වා ආර්ථිකය තල්ලු වන බව ද පැවසුවේය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ආණ්ඩුව ඍජුව කටයුතු කළ යුතු බව ද ඔහු යෝජනා කළේය.

දේපළ බද්ද වැනි දෑ අනවශ්‍ය බව ද පැවසූ මන්ත්‍රීවරයා රටේ ආදායම සම්බන්ධයෙන් සිතා බැලීමේදී එම බද්ද පිළිබඳ සිතා බැලීමක් පවා සිදු නොකොට ඉවත දැමිය යුති බව ද ප්‍රකාශ කළේය.

එම බද්ද ක්‍රියාත්මක කළ හොත් ප්‍රතිලාභයට සාපේක්ෂව සිදුවන හානිය ඉතා ඉහළ බව ද ඔහු පැවසීය.