September 19, 2026

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී මධ්‍යම රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ (38) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයකට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව ඇත. ඒ මොහොතේ දඹුල්ල දෙස සිට හබරණ දෙසට විදුහල්පතිවරයා පදවාගෙන ආ මෝටර් රථයේ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති අතර, පසුව බස් රථය මද දුරක් ඉදිරියට ගොස් සංචාරක හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ තවත් සුඛෝපභෝගී මෝටර් රථයක්ද යටකරගෙන අසල තිබූ අවන්හලකට කඩා වැදී නතර වී තිබේ.

අනතුරෙන් පසුව විනාඩි 45කට අධික කාලයක් මෝටර් රථය තුළ සිරවී සිටි විදුහල්පතිවරයාව මුදාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වී ඇති අතර, බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහුව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව දඹුල්ල මූලස්ථාන පොලිසිය තහවුරු කළේය.