September 30, 2026

යාපනයේ වල්ලෙයි ශ්‍රී මුනීශ්වර කෝවිලේ පූජකවරයා පෙරේදා (28 දා) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෝවිලේ රාත්‍රී පූජාව අවසන් කර සිය නිවස වෙත ගමන් කරමින් සිටියදී වල්ලෙයි – පේදුරුතුඩුව මාර්ගයේ වල්ලෙයි හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

ඉදිරියෙන් පැමිණි වෑන් රථයකට ඉඩදීමට යෑමේදී පූජකවරයා පැදවූ යතුරුපැදිය අනතුරට ලක්ව ඇති බව මූලික තොරතුරුවලින් හෙළි වේ.

අධික වේගයෙන් ධාවනය කර ඇති යතුරුපැදිය වංගුවක් ගැනීමේදී පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී ඇති බව පොලිසිය පවසයි.

එම ගැටීමත් සමඟ යතුරුපැදිය විදුලි කණුව දිගේ ඉහළට ගොස් නැවත බිම ඇදවැටී ඇති අතර, බරපතල තුවාල ලැබූ පූජකවරයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.