September 30, 2026

සමාජ මාධ්‍ය වේදිකාවල මුදල් ඉපැයීමේ විශේෂාංග පුළුල්වීමත් සමඟ, වාණිජමය අරමුණු සඳහා දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ භාවිත කිරීමේ අවදානම්සහගත ප්‍රවණතාවක් මතුවී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පවසා තිබේ.

දෙමාපියන්, භාරකරුවන් සහ රැකබලාගන්නන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවල දෙමාපියන්ගේ දැනුවත්භාවයෙන් හෝ කැමැත්තෙන් තොරව, දරුවන්ගේ කුසලතා හෝ දෛනික ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීමේ මුවාවෙන් මෙලෙස පුද්ගලයන් සහ සංවිධාන අන්තර්ගතයන් නිර්මාණය කරන බව අනාවරණය වී තිබේ.

දරුවන්ගේ දෛනික චර්යාවන්, නිවාස, පාසල් සහ එදිනෙදා ක්‍රියාකාරකම් දැක්වෙන වීඩියෝ නිතර පළකිරීම මඟින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට සහ පෞද්ගලික ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල විය හැකි බව බලධාරීන් විසින් අවධාරණය කර ඇත.

මීට අමතරව, අන්තර්ජාලයට මුදාහරිනු ලබන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ AI තාක්ෂණය ඔස්සේ විකෘති කර අසභ්‍ය හෝ හානිකර අන්තර්ගතයන් නිර්මාණය කිරීමට අවදානමක් ඇති බවටද අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර තිබේ.

එබැවින්, සමාජ මාධ්‍යවල බාලවයස්කරුවන් සම්බන්ධ අන්තර්ගතයන් බෙදාගැනීමේදී දෙමාපියන්, භාරකරුවන් සහ වගකිවයුතු සියලු දෙනා අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් අන්තයටම කල්පනාකාරී වන ලෙස අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් ඉල්ලා සිටී.