March 14, 2024

බොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහයක්, අවසන් කටයුතු නවතා, පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කොල්ලුපිටිය පොලිසිය රැගෙන ගොස් තිබේ.

මරණය සැකසහිත බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අධිකරණය ලබාදුන් නියෝගයක් මත මෙලෙස දේහය රැගෙන ගොස් ඇත.

අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙලෙස රැගෙන යන ලද්දේ 64 හැවිරිදි ලලිත් සේනානායක නමැත්තාගේ දේහයයි.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මියගිය ලලිත් සේනානායක නමැත්තා මාස තුනක පමණ කාලයක සිට ඇල්ෆ්‍රඩ් හවුස්හි ඔහුගේ අක්කාගේ නිවසේ නතර වී සිට ඇති බවත්, එසේ සිටියදී පසුගිය 10 වැනිදා ඔහු මියගොස් ඇති බවත් දැනුම් දුන්හ.

මියයෑමට පෙර ඔහු වකුගඩු සහ හෘදයාබාධ රෝගවලින් පෙළී ඇති බවත්, එම රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි ද දැනුම්දුන් කොල්ලුපිටිය පොලිසි,ය ඔහුගේ අවසන් කටයුතු කිරීම සඳහා බොරැල්ලේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබියදී, මියගිය පුද්ගලයාගේ බිරිඳ වන මායා දිලුක්ෂි සිය ස්වාමිපුරුෂයාගේ මරණය සැකසහිත බවට පොලිසියට පැමිණිලි කළ බවද දැනුම් දුන්නේය.

මේ තත්වය අනුව, ලලිත් සේනානායක නමැත්තාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දේහය රැගෙන යෑමට ඉඩදෙන ලෙස මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටද පශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේදී මරණකරුගේ සියලුම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට ද මරණකරුගේ පාර්ශ්වයට නියම කළ මහේස්ත්‍රාත්වරයා, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය සම්බන්ධ අවසන් කටයුතු කිරිමට මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට අවසර දුන්නේය.(ලංකාදීප)