October 28, 2026

ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීම සහ එහි ගෑස් තොග බෑම දින තුනහමාරකින් ප්‍රමාද වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 250,000 කත් 300,000 කත් අතර හිඟයක් නිර්මාණය වී ඇති අතර, එම හිඟය ඉදිරි දින හතත් අටත් අතර කාලය තුළ සම්පූර්ණයෙන් විසඳීමට හැකිවනු ඇතැයි වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන පැවසීය.

එමෙන්ම, වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් කෙටි කාලයක් තුළ මෙලෙස අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ ගෑස් නෞකාව බලාපොරොත්තු වූ වේලාවට වඩා දින දෙකක් ප්‍රමාද වී පැමිණි අතර, ඉන් පසුව ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ ප්‍රවාහන කටයුතු සඳහා තවත් දින එකහමාරක පමණ ප්‍රමාදයක් සිදු වූ බවයි.

මෙම හිඟය පියවීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ඔක්තෝබර් 23 වනදා උදෑසන සිට දිනපතා කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 100,000 බැගින් නොකඩවා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කරන ගෑස් සිලින්ඩර දින දෙකක් හෝ තුනක් ඇතුළත අවසන් විය හැකි නමුත්, ගෘහස්ථ භාවිතය සඳහා ලබාදෙන සිලින්ඩරයක් සාමාන්‍යයෙන් මාස දෙකහමාරක් හෝ තුනක් අතර කාලයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. (The Morning)