November 3, 2026

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලද සංශෝධිත මැතිවරණ ක්‍රමවේදයට අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18 සිට 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කර ඇති ආසන සංඛ්‍යාව නවයේ සිට අට දක්වා පහත වැටී ඇත.

2026 ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය සහ 2026 (1) අතිරේක ඡන්දහිමි නාමලේඛනය පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98(8) වගන්තියට අනුකූලව සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව සහ ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම තේරී පත්කර ගත යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊට අදාළ අංක 2511/02 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය 2026 ඔක්තෝබර් 19 වැනි දින නිකුත් කළ බව ද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

2026 ඡන්දහිමි නාමලේඛන මත පදනම්ව එක් එක් මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වෙන් කරන ලද සංශෝධිත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව පහත දැක්වෙන වගුවේ විස්තර කර ඇත.