October 7, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ සිටින ණය වැඩසටහන ලබන වසරේදී නිල වශයෙන් අවසන් වූ විට නැවත එවැනි වැඩසටහනකට යොමු නොවන බව රජය මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ රජයේ එම ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ආත්මශක්තියකින් යුතුව ආර්ථිකය ඉදිරියට හසුරුවා ගැනීමට ආණ්ඩුවට පවතින හැකියාව බවයි.

එය රජයේ ස්ථාවරය වුව ද බාහිර පාර්ශවවලට අවශ්‍ය වන්නේ රටේ ආදායම් තත්වය පමණක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන මෙතෙක් නිල වශයෙන් අවසන් වී නොමැති බැවින් ඔවුන් ලබාදී ඇති ඉලක්ක සපුරා ගැනීමට රට සමත්ව තිබේද යන්න ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරියට රැගෙන නොයන ස්ථාවරයේ සිටිය ද රට ඉදිරියට යා යුතුව ඇති බවයි.

ඒ සඳහා ණය ගැනීම අවශ්‍ය බවත්, එහිදී ණය ශ්‍රේණිගත කිරීම්වල සාධනීය ස්ථානයක රැඳී සිටීමට සිදුවන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වන්නේ නම් අනතුරුව යොමු වන්නේ කුමන වැඩසටහනකට ද යන්න වැදගත් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.