May 26, 2026

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති තවත් ගල්අඟුරු රැගත් නෞකාවක්, ටෙන්ඩර් පිරිවිතරයන්ට අනුකූල නොවීම පිළිබඳ මතුව ඇති ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නෞකාවේ භාණ්ඩ ප්‍රකාශනයේ පිටපත් පසුගිය අප්‍රේල් 30 වැනිදා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව කිහිපයක් වෙත යොමු කර තිබූ බව එම සංවිධානය පෙන්වා දෙයි.

වාර්තාවලට අනුව, දකුණු අප්‍රිකාවේ ‘රිචඩ්ස් බේ’ ගල්අඟුරු පර්යන්තයේ සිට පැමිණ ඇති මෙම නෞකාව සතුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766ක් පවතී.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ගල්අඟුරු තොගයේ අඩංගු අළු ප්‍රතිශතය 16.8%ක් වන බවයි.

ලංකා ගල්අඟුරු සමාගම විසින් නිකුත් කරන ලද ටෙන්ඩරයේ උපරිම සීමාව ලෙස දක්වා ඇත්තේ 16%ක් පමණක් වන බැවින්, මෙම ගල්අඟුරු තොගය නියමිත ගුණාත්මක ප්‍රමිතියෙන් බැහැර වී ඇති බව එම සංගමය කියා සිටියි.

මෙලෙස පිරිවිතරයන් උල්ලංඝනය කර ඇති බැවින්, දඩ මුදල් අය කිරීමේ කොන්දේසි යටතේ වුවද මෙම ගල්අඟුරු තොගය මිලදී ගැනීමට රජයට නීතිමය හැකියාවක් නොතිබිය හැකි බව සංගමය අවධාරණය කරයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ, අදාළ ගල්අඟුරු තොගය බලාපොරොත්තු වූ ප්‍රමිතියට වඩා අඩු මට්ටමක පැවතුණද, එය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා භාවිත කළ හැකි බවයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට අදාළව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, මෙම නෞකාව සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, ඇතැම් පාර්ශවයන් දේශපාලන වාසි තකා මෙලෙස අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින බවට ද චෝදනා කළේය.