July 6, 2023

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සකස්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තොරතුරු, ඒවා ඉල්ලුම්කළ පුද්ගලයන්ට ලබනොදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ඊයේ(05) පාර්ලිමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ට තරවටු කර ඇත.

එසේම අසත්‍ය තොරතුරු ලබාදීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවටද කොමිෂන් සභාව අනතුරු අඟවා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකාර සහරාන් හෂීම්ගේ බිරිඳ සහ ඉහළ පෙළේ පොලිස් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනකුගෙන් වාර්තා වී ඇති සාක්ෂි කොටස් නිකුත් නොකිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අභියාචනයක් සම්බන්ධයෙන් සිදුකළ මාස හතක දීර්ඝ විභාගයක් අවසන් කරමින් සිව් පුද්ගල කොමිසන් සභාව මෙම අදහස් පළ කළේය.

සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාඩියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිවල පිටපත් ඉල්ලා සමාජය හා ආගමික මධ්‍යස්ථානය (CSR) වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පාර්ලිමේන්තුවට අදාළ තොරතුරු දැනගැනීමේ අයැදුම්පත ඉදිරිපත් කර ඇත.

එම තොරතුරු තමන් සන්තකයේ නොමැති බව පවසමින් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම පාර්ලිමේන්තුව මුලදී ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේ වෙතත්, එවැනි තොරතුරු පාර්ලිමේන්තුව සතුව පවතින බව පවසමින් අභියාචකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොමිසමට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී, එම තොරතුරු නිකුත් කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උල්ලංඝණය කළ හැකි බවට පසුව ප්‍රකාශ කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ට තරවටු කළ කොමිසම තම ස්ථාවරය වෙනස් කර තොරතුරු දැනගැනීමේ කොමිසමට විවිධ ප්‍රකාශ නිකුත් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විය හැකි බවට අනතුරු ඇඟවීය.