April 12, 2026

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති අභ්‍යන්තර වංචාව පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බව එම අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධ දූත පිරිසේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහබැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.

එම වංචාවෙන් රුපියල් බිලියන 13.2 ක පාඩුවක් වාර්තා වී ඇති බව පවසන දූත මණ්ඩල ප්‍රධානියා, අභ්‍යන්තර විමර්ශනයක් සිදුවන බවට තමා විශ්වාස කරන බව ද සඳහන් කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් ණය පහසුකමට අදාළ පස්වැනි සහ හය වැනි සමාලෝචන අවසන් කිරීමෙන් පසු මහබැංකුවේ පැවති ජනමාධ්‍ය සාකච්ඡාවේ දී ජාතික සංවර්ධන බැංකුවේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.