June 2, 2026

දිට්වා ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක කිහිපයක පැවැති සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේදී හඳුනා ගන්නා ලද ගැටලුවලට පිලියම් වශයෙන් යෝජිත පියවර කිහිපයක් සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එලෙස අනුමැතිය හිමිව ඇති යෝජිත පියවර පහත පරිදි වේ.

නිවාස අහිමි වූ පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවස ඉදි කර ගනු ලබන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා උපරිම මාස 06ක් දක්වා ලබා දුන් මාසික ගෙවල් කුලී දීමනාව උපරිම මාස 09ක් දක්වා දීර්ඝ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.

ගල්, පස් හා සුන්බුන් එකතු වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවතවගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්/ සහකාර කොමසාරිස් විසින් අනුමතකරනු ලබන ඇස්තමේන්තුවක් අනුව අදාළ ආයතනවල අනුමැතින් ලබා ගැනීමෙන් අනතුරුව එකී සුන්බුන් ඉවත් කර නැවත වගාවට යෝග්‍ය පරිදි සකස් කිරීමට අදාළව චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීම.

ගල් පෙරලීම සහ පස් කඩා වැටීම් සිදු වී ඇති ස්ථාන හෝ නායයෑම් අවදානම් සහිත ස්ථානවල නායයෑම් අවදානම් අවම කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කරන පරිදි සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නායයෑම් අවම කිරීමේ වැඩසටහන මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතාවයෙන් යුතුව භාවිත කිරීම.

අවශ්‍ය වන ප්‍රතිපාදන සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම.