October 1, 2026

ඇමෙරිකානු පැසිෆික් හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් ‘ජේබී’ වවෙල් (Joel “JB” Vowell) ඊයේ කොළඹට පැමිණි අතර, ඔහු ශ්‍රී ලංකාවට පැමිණි උසස්ම ඇමෙරිකානු හමුදා නිලධාරියා බවට පත්වේ.

සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා සිදුවන ඔහුගේ මෙම සංචාරය, ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා හමුදා අතර වර්ධනය වන සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරයි.

ඇමෙරිකානු තානාපති එරික් මේයර් ප්‍රකාශ කළේ, “ලුතිනන් ජෙනරාල් වවෙල්ගේ මෙම ඓතිහාසික සංචාරයෙන් ශ්‍රී ලංකාව සමඟ පවතින ආරක්ෂක සහයෝගිතාවයේ වර්ධනය සහ ප්‍රතිඵල ලබා දීම පිළිබඳ අපගේ කැපවීම පිළිඹිබු වේ. එක්ව පුහුණු වීම, අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සහ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරගැනීම මගින් අපගේ ජනතාව ආරක්ෂා කිරීමටත් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අපට වඩා හොඳින් සූදානම් විය හැකියි.” යනුවෙනි.

ලුතිනන් ජෙනරාල් වවෙල්, ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී දෙරටේ හමුදා අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය, සූදානම සහ ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාස, ධාරිතා වර්ධන වැඩසටහන් මෙන්ම මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර (HADR) පිළිබඳ සහයෝගීතාවද මෙම සාකච්ඡාවලට ඇතුළත් වේ. මීට අමතරව, ඉදිරි පරම්පරාවේ හමුදා නායකයින් ඇමතීමට නියමිත ලුතිනන් ජෙනරාල් වවෙල්, කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා වෘත්තීයමය හමුදාවක් ඉටුකරන වැදගත් කාර්යභාරය පිළිබඳව ද කරුණු පැහැදිලි කරනු ඇත.

ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජනපදය දක්වන අඛණ්ඩ කැපවීම ලුතිනන් ජෙනරාල් වවෙල්ගේ මෙම සංචාරය මගින් තහවුරු වන බවත්, පසුගිය මැයි මාසයේදී සාර්ථකව පැවැත්වූ ගොඩබිම් බලකා සාකච්ඡාවල (Land Forces Talks) ඉදිරි පියවරක් ලෙස මෙය සිදුවන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.