October 1, 2026

කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල, මන්නාකැති ඇල්ල පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික නව ශාක විශේෂයක් සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබේ.

‘Impatiens yakandawalarum’ ලෙස නම්කර ඇති මෙම ශාකය කූඩලු (balsam) කුලයට අයත් වන අතර, එය ඉංග්‍රීසි භාෂාවෙන් “Kithulgala Balsam” ලෙසත් සිංහල භාෂාවෙන් ‘කිතුල්ගල කූඩලු’ ලෙසත් පොදුවේ හඳුන්වනු ලබයි.

එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ සලනි ගුණරත්න විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකින් මෙම සොයාගැනීමේ ආරම්භය සිදුව තිබේ.

පර්යේෂක පේෂල පසන් කරුණාරත්න මෙම ශාකය සහ ඊට සමාන ‘Impatiens janthina’ ශාකය අතර වෙනස්කම් හඳුනාගෙන ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක භාතිය ගෝපල්ලව වෙත යොමුකර ඇත.

අනතුරුව සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණවලින් පසුව මෙය මෙතෙක් වාර්තා වී නොමැති නව ශාක විශේෂයක් බව තහවුරු වී තිබේ.

බොහෝ කූඩලු ශාකවල දක්නට ලැබෙන නල ආකාරයේ කොටස (tubular spur) නොමැති වීම මෙම ශාකයේ විශේෂ ලක්ෂණයකි.

තෙතමනය සහිත, පාසිවලින් වැසුණු ගල් පෘෂ්ඨ සහ ගස් මුල් මත වැඩෙන මෙම ශාකයේ සෙන්ටිමීටර 2 ක පමණ ප්‍රමාණයේ තද රෝස පැහැති මල් හටගනී.

මෙම නව සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කූඩලු (Impatiens) ශාක විශේෂ සංඛ්‍යාව 28 දක්වා ඉහළ යන අතර, ඉන් 19 ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වේ.

පස්දෙනකුගෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙම සොයාගැනීම 2026 සැප්තැම්බර් 30 වැනි දින ‘Ceylon Journal of Science’ සඟරාවේ පළකර ඇත.

දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාභාවික පරිසර පද්ධති සුරැකීමේ ඇති වැදගත්කම ද පර්යේෂකයෝ මෙහිදී පෙන්වාදෙති.