July 27, 2026

වී මිල ද ඇතුලුව වී ගොවීන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය වහා මැදිහත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වී මිල සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වේ යැයි ගොවියා අපේක්ෂාවෙන් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් රජය ඔවුන්ට ඍජු පිළිතුරක් ලබාදිය යුතු බවයි.

”වී ගොවියා නිරන්තරයෙන්ම කියනවා එයාගෙ වියදම ඒ කියන්නේ ගොවියගේ සැබෑ වියදම කිලෝ එකකට රුපියල් 135 ක් විතර වෙනවා කියලා. ඉතිං කොහොමද භාර ගන්නේ 120 ක මිලක්. 120 ක මිලක් කියන්නේ රජයක් වශයෙන් අනුමාන කරනවා, උපකල්පනය කරනවා සියයට 3 – 4 ක් අරන් ඒක පුද්ගලික අංශයේ මැදිහත්වීම තුළ මේක යථාතත්වයට පත් වෙන්න පුලුවන් වෙළඳ මිලක් ලැබෙනවා කියලා. ගොවියගේ විශ්වාසය ඒක මදි, ඒ සියට 3 කින් ගැනීමෙන් පුද්ගලික අංශය දැන් දන්නවා මේක යම් විදිහකින් විහිලු කිරීමක් විතරයි. ඒක නිසා ගන්න ඕනේ නැහැ කියලා. එතකොට අන්තිමට වී විකුණන්නේ රුපියල් 80 ට තියෙන එක දැන් 100 ට විතර වැඩි වෙයි කියන මතය තියෙනවා. ඉතිං රජය ඒකට ඍජු පිළිතුරක් දිය යුතුයි.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේදී ද මෙවැනි ගැටලු තිබුණු නමුත් ඒ සඳහා පුද්ගලික අංශයේ ද මැදිහත් වීම මත එම ඉල්ලුම සැපයුම පාලනය කළ බවයි.