September 1, 2023

යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ අවශ්‍ය තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වීමෙන් රජය තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත අඛණ්ඩව උල්ලංඝනය කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වාදෙයි.

2022 සහ 2023 දී අවශ්‍ය තොරතුරු වලින් පිළිවෙළින් සියයට 18ක් සහ සියයට 25ක් පමණක් අන්තර්ජාලය හරහා ක්‍රියාකාරීව අනාවරණය කර ඇතැයි වෙරිටේ රිසර්ච් (Verite Research) සඳහන් කරයි.

එපමනක් නොව, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් සිංහල සහ දෙමළ භාෂාවෙන් තොරතුරු හෙළිදරව් කිරීම අනිවාර්ය වුවද, ඉතා සීමිත අවස්ථාවලදී පමණක් එම භාෂාවලින් තොරතුරු පළකිරීමට රජය කටයුතු කර ඇතැයි වෙරිටේ පෙන්වාදෙයි.

2022 දී සියයට 18ක් තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකි වුවද, සිංහල භාෂාවෙන් සියයට 05ක් සහ දෙමළ භාෂාවෙන් සියයට 04ක් පමණක් තොරතුරු ලබා ගැනීමට හැකි වී ඇත.

2023 දී මෙම ප්‍රවණතාවය දිගටම පැවති අතර, තොරතුරු සියයට 25ක් ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකි වූ අතර, සිංහල භාෂාවෙන් සියයට 08ක් සහ දෙමළ භාෂාවෙන් සියයට 08ක් පමණක් ලැබී ඇත.

මෙම සොයාගැනීම් වෙරිටේ රිසර්ච්හි publicfinance.lk වේදිකාව යටතේ ඇති ත්‍රෛභාෂා උපකරණ පුවරුවක් වන Infrastructure Watch හි අන්තර්ගත වේ.

එය 2022 දී ට්‍රිලියන 1.08 ක් වටිනා ව්‍යාපෘති 60 ක් සහ 2023 දී ට්‍රිලියන 2.54 ක් වටිනා ව්‍යාපෘති 60 ක් පිළිබඳව මෙහිදී RTI පනත යටතේ තොරතුරු විමසීම් සිදුකර තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 9 වැනි වගන්තිය මඟින් යටිතල පහසුකම් ව්‍යාපෘතියකට වගකිව යුතු ඇමැතිවරයාට ව්‍යාපෘති තොරතුරු හෙළිදරව් කිරීමට නියම කර ඇත.

පිළිවෙළින් ඩොලර් 100,000 සහ රුපියල් 500,000 ඉක්මවන විදේශීය සහ දේශීය වශයෙන් අරමුදල් සපයන ව්‍යාපෘති ආරම්භ කිරීමට අවම වශයෙන් මාස තුනකට පෙර තොරතුරු කල්තියා හෙළි කළ යුතුය.

පසුගිය දශක දෙක තුළ මෙම ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම සඳහා ගනු ලැබූ ණය ශ්‍රී ලංකාවේ ණය බරට සැලකිය යුතු ලෙස දායක වී ඇති අතර, විනිවිදභාවයක් නොමැතිකම මෙරට යටිතල පහසුකම් ආයෝජන හා සම්බන්ධ බොහෝ ගැටලු සඳහා ප්‍රධාන සාධකයක් වී ඇත.