July 26, 2026

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටින බවට මාධ්‍ය කිහිපයක පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත පුවත් බව රජය අවධාරණය කරයි.

“2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089 දෙනෙකු නවාතැන් ගෙන ඇත” යනුවෙන් පළවූ පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙන්නේ, ජනාධිපති මන්දිර තුළ කිසිදු පිටස්තර පුද්ගලයකු නවාතැන් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, 2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශ සාමාජිකයන්, ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් ක්ෂේත්‍රවල නිලධාරීන් සිය රාජකාරීමය අවශ්‍යතාවයන් වෙනුවෙන් විවිධ අවස්ථාවලදී නවාතැන් ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එම නිලධාරීන් කිසිවකුත් ප්‍රධාන ජනාධිපති මන්දිර තුළ නවාතැන් ගෙන නොමැති බවත්, රාජකාරී අවශ්‍යතා සඳහා වෙනත් ගොඩනැගිලි භාවිත කිරීම සහ මන්දිරවල පිටස්තරයින් නවාතැන් ගැනීම යනු තත්ත්වයන් දෙකක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.