April 22, 2026

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පහතින් දැක්වෙන්නේ, ඊට අදාළ කැබිනට් තීරණයයි.

‘පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-05-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රමවේදයක් මෙතෙක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීමට‌ දැනට ක්‍රමවේදයක් නොමැත. එබැවින්, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කර ගත් පුළුල් සංවිධානාත්මක ව්‍යූහයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති‑ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.’