January 29, 2024

මෑතකදී සම්මත කරන ලද ප්‍රචාරක මූල්‍ය නීති ඉදිරි මැතිවරණවලදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊට අදාළ ආයතන 10ක් සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව, මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ නව නීති සම්බන්ධයෙන් දෙදින සාකච්ඡාවක් පවත්වා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ඉදිරි මාසය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව සම්මත කර ඇති පරිදි එම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

එමෙන්ම මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සළකාබලා අදාළ ආයතන සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන සමඟ මූලික වටයේ සාකච්ඡා පසුගිය සතියේ පැවැත් වූ බවද ඔහු සඳහන් කරයි.

”අපි මේ නීති ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතන කිහිපයක් සහාය විය යුතුයි. අපි ඔවුන් සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන සමඟ පසුගිය සතියේ දින දෙකක සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අතරවාරයේ අපි ඔවුන්ගෙන් ඉල්ලීම් කළා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා, ඉදිරි දිනවලදී ඔවුන් එය කරයි. ඊට අමතරව ඉදිරි මාසය තුළදී දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා”

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පමණක් නොව ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක මුදල් නීති ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවද හෙතෙම පවසයි.

එහි මූලික පියවරක් ලෙස, දින නියමයක් නොමැතිව කල් දැමූ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට එක් ඡන්දදායකයෙකුට වැයකළ හැක්කේ රුපියල් 20ක් පමණක් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.