October 25, 2026

සමාජ මාධ්‍යවල යම් දෙයක් ගැන එකපාරටම ලොකුවට කතාබහ වෙන්න ගත්තාම, ඒක තමන්ගේ වාසියට හරවා ගන්න හොඳම වෙලාව මොකක්ද කියලා හොඳ මාකටින් මොළකාරයෝ දන්නවා. ඔන්න අපේ ලංකාවේ පොලිසියත් අන්න ඒ වගේ නියම මාකටින් පාරක් ගහලා තියෙනවා!

පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරාම ලොකුවට ෂෙයාර් වුණා අමුතු පින්තූර වගයක්. ඒ තමයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ඉල්ලා පිරිසක් විසින් ‘මහසෝන්’ යක්ෂයාට තැබූ පිදේනියක සහ පූජාවක ඡායාරූප. මෙම පැරණි ගුරුකම් සහ පූජා කර්මය සිදු කර තිබුණේ ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කරගෙනයි.

ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ මේ ‘මහසෝන් පිදේනිය’ සහ ඒකේ තිබුණු කුඩා මැටි රූපය ගැන හැමෝම කතා වෙද්දී, පොලිසිය ෂෝට්කට් එකෙන් වැඩේට බැස්සා! මේ දිනවල රටේ ශීඝ්‍රයෙන් වැඩිවන සයිබර් අපරාධ සහ ඔන්ලයින් වංචා (Phishing Scams) ගැන ජනතාව දැනුවත් කරන්න පොලිසිය මේ මහසෝන් පූජාවේ රූපරාමු සහ සංකල්පය පාවිච්චි කරලා මරු දැනුවත් කිරීමේ වීඩියෝ එකක් හැදුවා.

නොසිතූ ලෙස මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ වයිරල් වෙන්න පටන් ගත්තා. වීඩියෝ එකට කමෙන්ට් කරපු එක්තරා සමාජ මාධ්‍ය පරිශීලකයෙක් කියලා තිබුණේ, “නාස්තික වාදී වම්මුන්ට මහසෝන් පූජාව වැඩ කරයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් වුණාට, හොරුන්ට අහුවෙන්න එපා කියලා කරපු දැනුවත් කිරීම නම් කෙළින්ම ඉලක්කයටම වැදුණා!” කියලයි.