March 1, 2024

ශක්තිමත් නිෂ්පාදන හා ඉදිකිරීම් ක්‍රියාකාරකම් සඳහා වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ ජාතික මැතිවරණයකට මාස කිහිපයක් ඉතිරිව තිබියදී එරට ආර්ථික වාර්තාව ශක්තිමත් කරමින්, 2023 අවසන් මාස තුන තුළ ඉන්දියාවේ ආර්ථිකය වසර එකහමාරක් තුළ වේගවත්ම වර්ධනය සටහන් කර තිබේ.

ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය වන ඉන්දීය ආර්ථිකය ඔක්තෝබර්-දෙසැම්බර් කාර්තුවේ දී 8.4%කින් වර්ධනය වී ඇත.

මීට පෙර රොයිටර්ස් විසින් කරන ලද මත විමසුමකදී ආර්ථික විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරන ලද 6.6%ට වඩා එය බෙහෙවින් වේගවත් වූ අතර එය පෙර මාස තුනේ වාර්තා වූ 7.6%ක වර්ධනයට ද වඩා වැඩි විය.

“වර්තමාන වර්ධන වේගය ගෝලීය බලපෑම් නොතකා ඉන්දීය ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි” යනුවෙන් ‘ඉන්දියා රේටින්ග්ස්’හි ආර්ථික විද්‍යාඥ සුනිල් කුමාර් සිංහා පැවසුවේ කාර්තුවේ දී කාර්මික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය බව පෙන්වා දෙමිනි.

ඉන්දියාව නිරන්තරයෙන් වෙළඳපොළ අපේක්ෂාවන් පරාජය කර ඇති අතර ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස ශ්‍රේණිගත කර තිබේ.

වසංගතයෙන් පසු චීනය යථා තත්ත්වයට පත්වීමට අරගල කරමින් සිටින අතර යුරෝපා කලාපය අවපාතයකින් යන්තම් ගැලවී යමින් සිටියි.

ඉන්දියාව වත්මන් මූල්‍ය වර්ෂය සඳහා සිය වර්ධන ඇස්තමේන්තුව මාර්තු 31 දක්වා 7.3% සිට 7.6% දක්වා සංශෝධනය කළේය.

මැයි මාසය වන විට පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර අවසාන ප්‍රධාන ආර්ථික දත්ත නිකුතුවේ එවැනි ප්‍රබල වර්ධනයක් තිබීම රට පුරා පවත්වන රැලිවලදී ප්‍රධාන වේදිකාවක් බවට පත් කිරීමෙන් පසු මෝඩිට මැතිවරණයෙන් ඇති අවස්ථාවන් ශක්තිමත් කළ හැකි වනු ඇති බවට මත පළ වී තිබේ.

දෙසැම්බර් වර්ධනය “ඉන්දියානු ආර්ථිකයේ ශක්තිය සහ හැකියාව පෙන්නුම් කරයි” යනුවෙන් නරේන්ද්‍ර මෝඩි සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැවසීය.

මෝඩි යටිතල පහසුකම් සඳහා රජයේ වියදම් තියුණු ලෙස ඉහළ නංවා ඇති අතර දුරකථන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඩ්‍රෝන සහ අර්ධ සන්නායක නිෂ්පාදනය ඉහළ නැංවීමට දිරිගැන්වීම් ලබා දී ඇත්තේ වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් සමග ඉන්දියාවට තරඟ කිරීමට හැකිවන පරිදිය.

පසුගිය දශකය පුරා ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය වන ඉන්දීය ආර්ථිකයෙන් 17%ක් හිමිකරගත් නිෂ්පාදන අංශය දෙසැම්බර් කාර්තුවේදී වසරින් වසර 11.6%කින් ප්‍රසාරණය වූ අතර අඛණ්ඩව දෙවැනි කාර්තුවේදී ආයෝජන වර්ධනය 10%කට වඩා වැඩි වී තිබිණි.

එහිදී ඉදිකිරීම් අංශය 9%ට වඩා වර්ධනය වී තිබිණි.

නිෂ්පාදන අංශයේ වර්ධනයට අඩු යෙදවුම් පිරිවැය සහාය වූ බව CareEdgeහි ආර්ථික විද්‍යාඥ රාජනී සිංහා පැවසුවාය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් වන පෞද්ගලික පරිභෝජනය, පසුගිය මාස තුනේ 2.4% හා සසඳන විට, වසරින් වසර 3.5%ක වැඩිවීමක් සමඟින්, කාර්තුවේදී තරමක ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය කාර්තුවේ 1.4%ක වර්ධනයට සාපේක්ෂව රජයේ වියදම් වසරින් වසර 3.2%කින් හැකිළී ගොස් තිබේ.

කෙසේවෙතත් ඩොලර් ට්‍රිලියන 3.7ක ආර්ථිකයෙන් 15%ක් පමණ වන එරට ගොවිපොළ අංශය, අහිතකර මෝසම් වැසි හේතුවෙන් අඛණ්ඩව ගැටලුවලට මුහුණ දුන්නේය.

එය සැප්තැම්බර් කාර්තුවේ 1.6% වර්ධනයට සාපේක්ෂව දෙසැම්බර් කාර්තුවේ 0.8%කින් හැකිළී ගියේය.

ග්‍රාමීය වර්ධනය මන්දගාමී වීම නිසා ගොවිපොළ ආදායම පහත වැටුණු අතර සමහර ගොවීන් වැඩි ප්‍රසම්පාදන මිලක් ඉල්ලා පාරට බසින ලද ආකාරය දැකගත හැකි වේ.

ග්‍රාමීය දුර්වලතාව හින්දුස්ථාන් යුනිලීවර් වැනි ප්‍රධාන සිල්ලර සමාගම්වල මන්දගාමී වර්ධනයට හේතු වී තිබේ.

කෙසේවෙතත්, ප්‍රතිපත්ති සම්පාදකයෝ ග්‍රාමීය ප්‍රකෘතිය පිළිබඳ ශුභවාදීව සිටිති.