June 13, 2026

බොහෝදෙනා සිතන්නේ ලොව නිවාස සහ ඉඩම් මිලදී ගැනීමට වඩාත්ම අපහසු, අධික පිරිවැයක් දැරීමට සිදුවන නගර පවතින්නේ ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හෝ එක්සත් රාජධානිය (ලන්ඩන්, නිව්යෝර්ක්, සිඩ්නි) වැනි දියුණු බටහිර රටවල කියාය.

එහෙත් ලෝකප්‍රකට The Economist සඟරාව විසින් සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයකින් එම මතය සම්පූර්ණයෙන්ම වෙනස්කර දමා තිබේ.

“The world’s most unaffordable housing is not where you think” (ලොව නිවාස මිලදී ගැනීම වඩාත්ම දැරිය නොහැකි නගර ඔබ සිතන තැන්වල නොවේ) යන මැයෙන් පළ වූ මෙම වාර්තාවට අනුව, ජනතාවගේ සාමාන්‍ය ආදායමට සාපේක්ෂව නිවාස මිලදී ගැනීමට ‘වඩාත්ම දැරිය නොහැකි’ (Most Unaffordable) වෙළඳපොළවල් පවතින්නේ ආසියාවේ නැඟී එන සංවර්ධනය වෙමින් පවතින රටවලය.

එහිදී ආසියාවේ නිවාස මිලදී ගැනීම වඩාත්ම අසීරු රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබීම සුවිශේෂී කරුණකි.

මෙහි පළමු ස්ථානය පිලිපීනයේ මැනිලා නුවරට හිමිව ඇත.

ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙම නිවාස අර්බුදයට හේතු මොනවාද?

පළමුවැන්න වන්නේ ආදායම සහ මිල අතර ඇති දැවැන්ත පරතරය යි. බටහිර රටවල නිවාස මිල ඉහළ වුවද, එහි වෙසෙන වැසියන්ගේ සාමාන්‍ය මාසික ආදායම ද ඉහළ මට්ටමක පවතී. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල සාමාන්‍ය වැටුප් ඉතා අඩු මට්ටමක පවතිද්දී, කොළඹ හෝ අනෙකුත් නාගරික ප්‍රදේශවල ඉඩම් සහ නිවාස මිල බටහිර රටවල පවතින මිල ගණන්වලට සමාන මට්ටමකින් ඉහළ ගොස් ඇත.

තවත් කරුණක් වන්නේ, ශීඝ්‍ර නාගරීකරණය යි. රැකියා, අධ්‍යාපන සහ අනෙකුත් පහසුකම් සොයා දිනෙන් දින මිලියන සංඛ්‍යාත ජනතාවක් ප්‍රධාන නගර කරා සංක්‍රමණය වීම නිසා නගරබඩ නිවාස සහ ඉඩම් සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එසේම මධ්‍යම පන්තිකයන්ට සරිලන සැපයුමක් නොමැතිකමද තවත් හේතුවකි. සාමාන්‍ය සහ අඩු ආදායම්ලාභී ජනතාවට මිලදී ගත හැකි මට්ටමේ (Affordable Housing) නිවාස ව්‍යාපෘති බිහි නොවීම සහ වර්තමානයේ ඉදිවන නිවාස/නිවාස සංකීර්ණ බොහොමයක් ධනවත් ආයෝජකයන් ඉලක්ක කර ගනිමින් සුඛෝපභෝගී මට්ටමින් (Luxury Condos) ඉදිවීම මෙයට ප්‍රධාන හේතුවකි.

මීට අමතරව ආර්ථික අර්බුදයේ සහ උද්ධමනයේ බලපෑමද ප්‍රබල හේතුවක් වී ඇත. ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය සමඟ ද්‍රව්‍යමය මිල ගණන් ඉහළ යාම, උද්ධමනය සහ බැංකු ණය පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයකුට නිවාස ණයක් ලබාගෙන නිවසක් තැනීම හෝ මිලදී ගැනීම වර්තමානයේ සිහිනයක් පමණක් බවට පත්ව ඇත.

දැරිය හැකි මට්ටමේ නිවාස හිඟය වර්තමානයේ ආසියානු නගර මුහුණදෙන ප්‍රධානතම සමාජීය සහ ආර්ථික අභියෝගයක් බව The Economist සඟරාව අවධාරණය කරයි.

රජයන් විසින් නිසි නිවාස ප්‍රතිපත්ති, සහනදායී ණය ක්‍රමවේද සහ අඩු පිරිවැය නිවාස සැපයුම් ක්‍රමවේදයන් සකස් කිරීමට කඩිනමින් පියවර නොගතහොත්, ඉදිරි වසරවලදී නාගරික අසමානතාවය සහ ජනතාව මුහුණ දෙන පීඩනය තවදුරටත් දැඩි වනු ඇති බවට මෙම වාර්තාව වැඩිදුරටත් අනතුරු අඟවයි.