May 12, 2026

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ විභාග අපේක්ෂකයන්ට තම පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා දී ඇති ආකාරය දැනගැනීමට අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

එවැනි තොරතුරු නිකුත් කිරීම අවහිර කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ගොනුකරන ලද අයදුම්පතක් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විසින් පසුගිය 08 වැනිදා මෙම මෙම නියෝගය ලබාදී ඇත.

2023 ජනවාරි 08 වැනිදා පැවති විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී උපාධිය සඳහා තේරීම් පරීක්ෂණයට අදාළ තම දියණියගේ පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා ගැනීමට ජනක රොෂාන් නම් තැනැත්තා උත්සාහ කිරීමෙන් පසුව මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

විභාගයට අදාළ දේ නිකුත් කිරීම මගින් විභාග ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහ රහස්‍යභාවයට හානි කළ හැකි බවට තර්ක කරමින් විශ්වවිද්‍යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේවෙතත්, ඉල්ලා සිටි තොරතුරු නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව පසුව විශ්වවිද්‍යාලයට නියෝග කළ අතර, එම තීරණය අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට විශ්වවිද්‍යාලය කටයුතු කර තිබේ.

තීන්දුවේ දී, විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ විභාග අපේක්ෂකයකුට තමන්ගේම පිළිතුරු පත්‍රය සහ එය සලකුණු කර ඇති ආකාරය වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

“විභාග අපේක්ෂකයකු තමන්ගේ පිළිතුරු පත්‍රය, එය ඔවුන් ලියූ ආකාරය සහ එය සලකුණු කළ ආකාරය ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොපෙනේ,” යනුවෙන් තීන්දුවේ සඳහන් විය.

විනිවිදභාවය සහ වගවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A වගන්තියෙන් සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතෙන් ආරක්ෂා කර ඇති ප්‍රධාන මූලධර්ම බව අධිකරණය තවදුරටත් අවධාරණය කළේය.

“ඉහළ ආයතනවල සැඟවී සිටීමේ ක්‍රීඩා තිබිය නොහැක” යනුවෙන් සඳහන් කරමින් රාජ්‍ය ආයතනවල විනිවිදභාවයේ වැදගත්කම තීන්දුව මගින් අවධාරණය කර තිබේ.

විශ්වවිද්‍යාල අතුරු නීති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අභිබවා යා නොහැකි බව ද විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

විභාග අපේක්ෂකයන්ගේ අනන්‍යතා රහසිගතව තබා ගැනීම පවත්වා ගනිමින්, ඇගයීමට ලක් කළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට අපේක්ෂකයන්ට ඇති අයිතියට සහාය දක්වන ශ්‍රී ලංකා සහ ඉන්දියානු පෙර නඩු නීති ද අධිකරණය උපුටා දැක්වීය.

විශ්වවිද්‍යාලය විසින් ගොනු කරන ලද අයදුම්පත අවසානයේ ප්‍රතික්ෂේප කෙරිණි.