May 25, 2026

භාණ්ඩ හා සේවා යන අංශ දෙකම ඇතුළත්ව පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙය 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වාර්ෂික වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත කරන ලද දත්තවලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී මෙරට භාණ්ඩ අපනයන ආදායම 9.87%කින් ඉහළ ගොස් ඇති අතර, එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77කි.

එමෙන්ම, 2026 අප්‍රේල් මාසයේදී සේවා අපනයන අංශයෙන් උපයා ඇති ඇස්තමේන්තුගත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317.16කි.

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සේවා අපනයන අංශයෙන් සිදුවන දායකත්වයේ වැදගත්කම මෙයින් මනාව පැහැදිලි වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් මාස හතරක කාලය තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 4.3%ක වර්ධනයකි.